Sunday, March 24, 2013

වලේදී 'පුත්‍ර සමාගම' බැලුවෙමි


අවුරුද්දකට ආසන්න දීර්ඝ නිහඬ කාලයකට පස්සෙ පේරාදෙණියෙ එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය (කවුරුත් දන්න වල) පහුගිය සතියෙ ආයෙත් එහි හඬ අවදි කළා. වල දවස් දෙකක් දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ගෙන් පිරිලා ඉතිරිලා ගියා. ඒ විදියට ආයෙත් වල එලිය කලේ, වසරක් පාසා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය සංහිඳ පාමුල ශිෂ්‍යත්ව අරමුදල වෙනුවෙන් රඟ දක්වන නාට්‍ය දෙකක්. ඩී. කුමාරගේ රචනය කරනලද ප්‍රියන්ත රංජන් නිෂ්පාදනය කරපු 'රූකඩ රාජ්ජේ' සහ ජයලත් මනෝරත්නයන්ගේ 'පුත්‍ර සමාගම' ඒ නාට්‍ය දෙකයි.



වලට නාට්‍යයක් එනවා කියන ආරංචිය ඇහුවාම පේරාදෙණිය සරසවියෙ හැමෝගෙම හිත් වලට එන්නෙ අමුතුම විදියේ හැඟීමක්. පෞද්ගලිකව, තුන්සිය හැටපස් දවසෙම දහසකුත් එකක් අසනීප ඇඟේ තියාගෙන ඊටත් වැඩියෙන් ප්‍රශ්න ඔළුවේ තියාගෙන ඉන්න මිනිස්සුත් එක්ක ඔවුන් අතරම ඉන්න ඒ වගේම මනුස්සයෙක් වුන මට වලේ නාට්‍යයක් කියන්නෙ ඒ අසනීප ප්‍රශ්න හැම එකක්ම පැත්තක තියල, කට්ට කළුවරේ දහසක් සෙනඟ මැද්දෙ තට්ට තනියම හිතේ හැටියට නිර්මාණයක් රස විඳින්න හම්බෙන අවස්ථාවක්. මම වලට නාට්‍යයක් එනව කියල ඇහුණාම ඒ දවස වෙනකල් ඇඟිලි ගැන ගැනා ඉන්නෙ හරියට පොඩි එකෙක් වගේ.

කැම්පස් එකේ අය විතරක් නෙවෙයි, අහල පහල ගම් වල අයත් වලට නාට්‍යයක් ආවම බලන්න එන්න අමතක කරන්නෙ නෑ. වල හරි ප්‍රසිද්දයි වල සතියට, ඒ කියන්නෙ සතියක් පුරාවට නාට්‍යය 7ක් දිනපතා රඟ දක්වනවා. එතකොට නම් ඉතිං සතියම වල තමයි. පහුගිය අවුරුදු වල නම් වල සතියේ එක දවසක්වත් මිස් කලේ නෑ, එත් දැන් මේ යන විදියට මේ පාර එක දවසක් වත් යන්න හම්බුනොත් ලොකු දෙයක්. මං මේ රවුමෙන් කැරකි කැරකි කියන්න එන්න හදන්නෙ මේ පාර පෙන්නපු නාට්‍යයක් ගැන. අන්න ඊට කලින් මං නොදන්න අයට ටිකක් දැනගන්නත් එක්ක මේ වල වල ගගා කියන්නෙ මොකක්ද කියන්නම්.


වල කියන්න ඔන්න ඕකටයි. ඔය තියෙන්නෙ නාට්‍යයක් පෙන්නන කලින් ලණු එහෙම ඇදලා ආසන වෙන් කරලා තියෙන හැටි. ඕක හදන්න මුල්වෙලා තියෙන්නෙ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයා. මේක එළිමහන් රංග පීඨයක්, වැස්සොත් නළුවොයි කොලුවොයි ඔක්කොම තෙමෙනවා. හැබැයි පොඩි පොද වැස්සෙ වලේ නාට්‍යයක් බලනකොටත් මොකක්ද මන්ද පොඩි ගතියක් තියෙනවා. වල හදල තියෙන්නෙ ලංකාවෙ වැඩිය දකින්නට නැති ආකෘතියකට. ඒ විදියට හදපු තවත් රංග පීඨයක් තියෙනවා පැරණි ග්‍රීසියේ Epidauros කියල.


කොහොම උනත් වලේ නාට්‍යයක් කරන එක නාට්‍ය කරුවාට වගේම රඟපාන නළු නිලියන්ටත් ලොකු අභියෝගයක් කියලයි කියන්නෙ. ඒකට ලොකුම හේතුව තමයි සාමාන්‍ය ප්‍රොසීනියම් වේදිකාවක, ඒ කියන්නෙ අපි සාමාන්‍යයෙන් දකින තුන් පැත්තකින් වට වුන, ඉදිරිපසින් විතරක් ප්‍රේක්ෂකයාට විවර වෙලා තියෙන වේදිකාවක රඟපාන නළුවාව, වලේදී රවුම් හැඩයක් තියෙන වේදිකාවක ඉදිරිපසින් විතරක් නෙවෙයි දෙපසිනුත් විවර වෙනවා. මේක Thrust theater ආකාරයට යම් සමානකමක් දක්වනවා. එතකොට නළුවාට වලේ කෙලින්ම ඉදිරියෙන් ඉන්න ප්‍රේක්ෂකයන් ගැන විතරක් නෙවෙයි, තමන්ට දෙපැත්තෙන් ඉන්න ප්‍රේක්ෂකයන් ගැනත් හිතන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි වලේ ප්‍රේක්ෂකයෝ ඉන්නෙ නළුවාගේ ඇස් මට්ටමට වඩා උඩින්. එතකොට නළුවාට සාමාන්‍ය තිරස් තලයක ඔලුව තියාගෙන රඟපාන්න බැහැ, ඉතිං නළුවත් ඉහල බලාගෙන ඉන්න ඕනේ. ඔය අමාරුකම් මොනවා උනත් අමාරුවෙන් හරි තමන්ගෙ නාට්‍යයක් වලේ රඟදක්වන්න හැම නිෂ්පදකයෙක්ම කැමතියිලු. මොකද  කිසි අවුලක් නැතුව වලේ නාට්‍යයක් කලොත් ඒක අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා කියල මතයක් තවමත් ලංකාවෙ නාට්‍ය කරුවන් අතරේ තියෙනවලු.

කොහොම උනත් මල් පිපෙන කාලෙට වල පුදුම ලස්සනයි, වලේ මැද තියෙන රොබරෝසියා ගහේපිපෙන මල් වලේ පඩි පේලි උඩට වැටිලා තියෙනකොට ඒ දර්ශනය ලංකාවේද කියලත් හිතෙනවා. 

 
වල ගැන නොදන්න අයට ඔය ටික කියල මං දැන් කියන්නෙ, කතාකරන්න හිතාගෙන ආපු නාට්‍යය ගැන.

සීතලෙන් බේරෙන්න කියල නවාතැන් ඉල්ලන්න හිතාගෙන එදා රෑ කෝච්චිය මගහැරුණු තරුණයො දෙන්නෙක් ගෙයින් ගෙට යනවා. එක්කෙනෙක් ස්ලික්, අනිත් කෙනා ශිෂ්‍යයෙක් කුශින්. සරාෆ්නෝ කියන වයසක මනුස්සයාගේ ගෙදරට යන ස්ලික් කුශින්ව සරාෆ්නෝගෙ පුතා වසේන්කාට හඳුන්වලා දෙන්නෙ සරාෆ්නොගෙන් වෙනත් කාන්තාවකට ලැබුණු දරුවෙක් විදියට. ඒ කතාව අහන වසේන්කා ත් ඒක පිලි අරගෙන අර තරුණයො දෙන්නට හොඳ හැටි කෑමෙන් බීමෙන් සත්කාර කරනව. 

ඔය සිද්දියවෙනකොට නිවසෙ හිටියේ නැති සරාෆ්නෝ ගෙදර ආවට පස්සෙ වසේන්කා මේ ගැන කියනව. ඒ අහපු සරෆ්නොට මතක් වෙනවා ඔහු හමුදාවේ ඉන්න අන්තිම කාලෙදි ආශ්‍රය කරපු ගැලීනා කියන කාන්තාව. ඔහු අර තරුණයො දෙන්නගේ කතාව විශ්වාස කරලා හිතනවා කුශින් කියන්නෙ ඔහුට දාව ගැලීනාට ඉපදුණු දරුවා කියල. ජිවිතේ අන්තිම කාලෙදි තමන්ගේම දරුවන්ගෙන් තමන්ට ලැබෙන හිත් රිදීම්, කරදර හැම දෙකින්ම හෙම්බත් වෙලා හිටපු සරාෆ්නෝට තමන්ගෙ වැඩිමහලු පුතා ඔහු ලඟට ආව එක ලොකු අස්වැසිල්ලක් වෙනවා. පවුලේ අනිත් අයගේ බර කරට ගන්න, තමන් නැති කාලෙක වසේන්කා ව, නිනොච්කා ව බලාගන්න ඔවුන්ගේ අයියා ඉන්නවා කියන එක සරාෆ්නෝට සැනසිල්ලක්. සරාෆ්නෝ කුශින්ට තදින්ම ආදරේ කරන්න පටන් ගන්නවා. 


එත් මේ මහල්ලාගේ හැඟීම් එක්ක සෙල්ලම් කරන එක කුශින්ට මහා වදයක් වෙනවා. ඔහුට තවදුරටත් මේ බොරුව කරගෙන යන්න බැරි තැනකට ඔහු පත් වෙනවා. ඔහු සරාෆ්නෝ පවුල දාලා යන්න තීරණය කරනවා ඔවුන්ට ඇත්ත කියල. එත් ඔහු ඇත්ත හෙළි කලාම වෙන්නෙ කවුරුත් නොහිතපු දෙයක්. සරාෆ්නෝ කුශින්ව තමන්ගෙ වැඩිමහල් පුතා විදියටම තියාගන්නවා. කුශින් කියන්නෙ තමන්ගේම පුතෙක් කියල දැන දැනම සරාෆ්නෝ කුශින්ට තමන්ගේම පුතෙක්ට වගේ ආදරේ කරනව.


 












1968 දි Alexander Vampilov රුසියානු නාට්‍යකරුවා, 'The Elder Son' කියල රචනා කරන නාට්‍යයක්, 1985 දි ප්‍රසන්න විතානගේ අතින් සිංහලට පරිවර්තනය වෙනවා. ඒ පිටපත ජයලත් මනෝරත්නයන් අතින් 'පුත්‍ර සමාගම' නාට්‍යය විදියට නිෂ්පාදනය වෙනවා. 'පුත්‍ර සමාගම' මනෝරත්නයන්ගේ දෙවෙනි නාට්‍යය. ඔහුගේ පළමුවැන්න 'මහගිරිදඹ'. ඉන් පස්සෙ ඔහු අතින් 'සුදු රෙදි හොරු', 'සඳගිර' ඔය විදිහට ගත්තාම 'කනේරු මල්', 'අන්දරේලා', 'ගුරුතරුව', 'තලමල පිපිලා' වගේ නාට්‍ය බිහිවෙනවා. 'බුරුවා මහත්තයා' ඔහුගේ ආසන්නතම නිෂ්පාදනයයි. මනොරත්නයන්ට අනුව 'මහගිරිදඹ' අසාර්ථකයි. 'පුත්‍ර සමාගම' ඔහුගේ සාර්ථක පළමු නිෂ්පනදයයි. එය අවුරුදු 28ක් තිස්සෙ තාමත් වේදිකාගත වෙනවා.


 නාට්‍යයේ නළු නිලි පිරිස සැලකුවොත්
සරාෆ්නෝ- ජයලත් මනෝරත්න, කුශින්- ජනක කුඹුකගේ, ස්ලික්- සරත් චන්ද්‍රසිරි, නිනොච්කා (සරාෆ්නෝ ගෙ දුව)- රත්නා ලාලනී ජයකොඩි, වසේන්කා (සරාෆ්නො ගේ පුතා)- සම්පත් තෙන්නකෝන්, නතාෂා- චාන්දනී සෙනෙවිරත්න, මිකායෙල් (නිනොච්කා ගෙ පෙම්වතා)- සුසිල් වික්‍රමසිංහ සහ සෝමපාල පතිරගේ.


මේ නාට්‍යයෙන් කියන්න හදන්නෙ මොන වගේ දෙයක්ද? මෙය ලෝකප්‍රකට නාට්‍යයක්, හාස්‍යෝත්පාදක නිර්මාණයක්. නමුත් හාස්‍ය රසය පෙරළාගෙන නාට්‍ය තුලින් මතුවෙන්නේ මිනිසෙක් තවත් මිනිසෙක්ට දක්වන බැඳීම, සහෝදරත්වය. අපේ මේ ජීවිතය හරියට අපි පාරෙ ඇවිදන් යනවා වගේ. නොයෙකුත් වර්ගයේ මිනිස්සු අපිට මුණගැහෙනවා. සමහරු අපි යන පැත්තටම අපිත් එක්කම යනවා. සමහරු මගදී හැරිලා වෙනත් පාරවල් වල යනවා. සමහරු අපිව වට්ටනව, සමහරු අපි පයින් යනව දැක්කම වාහනේ නවත්තල අපිවත් දාගෙන යනව. අපි ගමන පටන් ගන්නෙ තනියම වෙන්න පුළුවන්, තවත් අය එක්ක වෙන්න පුළුවන්. ඒ විදිහටම අපි ගමන ඉවර කරනව. මගදී හම්බෙන සමහරුන්ව ටික වෙලාවකින් අපිට අමතක වෙලා යනව. ඒ අතරෙ කවදාවත් නොදැකපු අයව අපි අපේ කරගන්නව. ඒ අයව අපේ කරගන්නෙ අපිත් එක්ක කොච්චර කල් හිටියද කියන එක අනුව නෙවෙයි. සමහර විට ඒ අවුරුදු ගණනක් වෙන්න පුළුවන්, මාසයක් වෙන්න පුලුවන්, සතියක් සමහර විට දවස් කීපයක් වෙන්නත් පුළුවන්. ඒ අය අපේ කරගන්නෙ අපිට කොච්චර සමීප වුනාද කියන එක අනුවයි. බැඳීමකට දින සීමා නෑ. ඕනෙම මොහොතක ඕනෙ දෙයක් වෙන්න පුළුවන්. ඒත් "අහම්බෙන් ජීවිතේට එන ඇය ගැන ඕනෙවට වඩා විශ්වාස කරන්න එපා" කියල මං දවසක් මුහුනුපොතේ දැක්ක. එකෙත් ඇත්තක් තියෙනව.
 

 සරාෆ්නෝ පවුල කුශින් ව සහෝදරත්වයෙන් වැලඳගන්නවා. ඒ සහෝදරත්වය එකම ලේ වලින් ආපු දෙයක් නොවුනත්, ඔවුන් හදවතින් සහෝදරයන් වෙනව. සදාතනිකව මිනිසුන්ගේ නෑකම, ලේ බැම්ම හැම දෙයක්‌ නොයෙක්‌ අවස්‌ථාවලදී බිඳී යනවා. ඉඩකඩම්, දේපොළ නිසා බොහෝවිට මෙය සිදුවෙනවා. ඒත් මිනිසා මිනිසාට පෙන්වන ගෞරවය සැබෑ නම් මේ ආදරය සදාකාලිකයි. ලෝකයේ සෑම කෙනෙක්‌ම සහෝදරයන්. ලෙයින් බැඳෙන බැම්මට වඩා සහෝදරත්වයේ බැඳීම ප්‍රබලයි. ඒ 'පුත්‍ර සමාගම' ලාංකීය ප්‍රේක්ෂකයාට වසර 28ක් පුරාවට දෙන්න හදන සහෝදරත්වයේ පණිවිඩයයි.
මෙහෙම කතාව කෙටියෙන් කියනකොට කතාවෙ රහ නැති වෙලා යනවා වගේ මටම දැනෙනව. සමහර විට මට ඒක රහ විදියට කියන්න බැරුව ඇති. ඒ කොහොම උනත් මට ඒ නාට්‍යය දැනුණා, මං ඒ නාට්‍යය වින්දා. බලල නැත්නම් ඔබත් බලන්න. ඒත් ඔබ කවදාවත් වේදිකා නාට්‍ය බලල නැති කෙනෙක් නම් බලන එක පටන් ගන්න හොඳම නාට්‍යය 'පුත්‍ර සමාගම' නම් නෙවෙයි.

පැය දෙක හමාරක ට ආසන්න වේදිකා කාලයකට පස්සෙ නාට්‍යය අවසානයේදී දහස් ගණනක් අත්පොලසන් මැද්දෙ වේදිකාවට ආපු මනෝරත්නයන් වලේ වේදිකාවට දනගහල නමස්කාර කලා. එත් එක්කම ඉඳගෙන හිටපු හැමෝටම ඉබේම නැගිට්ටුනා කිවොත් මං වැරදි නෑ, මොකද ඒ දර්ශනය දැකපු මම නැගිට්ටා නෙවෙයි මට නැගිට්ටුනා. වලේ හැමෝගෙම ඇස් මනෝරත්නයන් දිහාවට එල්ල වෙලා තියෙද්දී, ඔහුගේ ඒ දිලිසෙන ඇස් දෙකෙන් කඳුළු බිංදු එලියට වැටුනා. ඒත් ඔහු දිහා ඇස් දල්වගෙන මහා හඬින් අත්පුඩි තලන ඔහුගේම ඊළඟ පරම්පරාවේ දරුවන් දිහා අහිංසක ආඩම්බරයෙන් බලාගෙන හිටිය ඔහුට ඒ කඳුළු බිංදු පිහ දාන්න අමතක වෙන්න ඇති. මට මතක් වුනේ මේ දේම ගිය අවුරුද්දේදී ඔහු 'බුරුවා මහත්තය' පෙන්වද්දි,  'ගුරු තරුව' පෙන්වද්දී මේ විදිහටම වුනා නේද කියල. ඒ හැම මොහොතක්ම ඔහු වලේ ප්‍රේක්ෂකයොත් එක්කම විඳින්න ඇති. ඔහුගේ ඇස් වලින් ආපු කඳුළු බිංදු පැය ගණනක් වේදිකාව මත උනපු දාඩිය බිංදුත් එක්ක එකතු වෙලා වෙදිකවටම වැටෙන්න ඇති.  



9 comments:

  1. කවදාක හැකිවේ ද මට
    ප්‍රේම කරන්නන්ට අනෙකාට
    කොන්දේසි විරහිතව !!

    නාටකය පුරාවට ඒ පැනය මම මගෙන් අසාගතිමි!

    හොඳ ලිපියක් ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් කවදා හැකි වේද? කොන්දේසි විරහිත ප්‍රේමයක් ගැන හිතන්න තරම් අපි තවම මෝරලා නැතිව ඇති. පුහුදුන් අපිට ඕව හීන

      Delete
  2. වලේ උඩම ඉඳන් බලන උන්ට මෙලෝ රහක් නෑනේ.... ටිකට් ගන්නත් ඕනද ? :)

    ReplyDelete
    Replies
    1. ඔව් උඩම හරියේ ඉතිං ඇහෙනව හොරයි තමයි. මොනා කරන්නද එතනත් තරඟේ.
      ටිකට් ගන්න ඕනේ ඉතිං, දැන් කාලේ නිකං දෙන දේක අගයක් නෑනේ. :)

      Delete
  3. අන්තිම ටික කියවනකොට මගේ ඇහිනුත් කඳුලක් වැටුනා..

    ReplyDelete
    Replies
    1. එහෙම වෙයි කියල හිතාගෙන තමයි ලීවේ. ඇති යන්තම් එක්කෙනෙක්ට හරි කඳුළු ආව.. :)
      ස්තුතියි

      Delete
  4. වලේ ඩ්‍රාමා එකක් ගැන හරිම ආසවෙන් කියෙව්වා.නියමයි.ඇත්තටම වල ගැන කියන්න කොච්චර නම් කතන්දර තියනවද?
    අවුරුදු හයක් තිස්සේ මම වලේ රසිකයෙක්.මට අත ඇරුනෙ මම හිතන හැටියට ගිය අවුරුද්දෙ වලයි මේ ළඟදි තිබුන දෙකයි විතරයි.හවස 5ට විතර ඇවිත් කලින්ම හොඳ තැනක් අල්ලගන්න ඕනේ.කොතන ගියත් කලින් ගිය අයට හොඳ තැනක් ලැබෙන එක අසාධාරන නැහැනේ.මම නම් හිතන්නෙ වල හදලා තියන හැටියට අනිත් වේදිකාවකට වඩා වැඩි පිරිසකට වඩා හොඳට පේනවා කියලා.මම වැරදි වෙන්න පුලුවන්.
    වලේ ඉඳගෙන නාට්ය බලන්න විතරක් නෙවෙයි වලේ චරිතයක් කරන්නත් මට වාසනාව තිබුනා.අමිල පනන්ගල අයියගෙ "දෙබිඩ්ඩෝ " එක්ක.ඒක නම් හරිම අපූරු අත්දැකීමක්.ඇත්තටම නලුවෙක් ගෙ ජීවිතය කියන්නේ තමන් රඟ පාන වේදිකාව.හරියටම අපේ අම්මා තාත්තා වගේ. ඒකයි වේදිකාවට වැඳලා රඟපාන්න පටන් ගන්නෙ. ඒකයි මනෝරත්න මහත්මයා වේදිකාවට වඳින්නෙ.කළ ගුණ දන්න මනුස්සයෙක්

    ReplyDelete
    Replies
    1. :O ඔහ් මෙන්න අපේ නූලි අක්කත් ඇවිත්. ඉ‍‍ඳල හිටල හරි ආයෙත් ඇවිත් බලල යන්න. ඇත්තටම ලියන්න ඕන වුනේ මනෝරත්න මහත්තය ගැන. අක්ක කියපු කතාව ඇත්ත. කළ ගුණ දන්න මනුස්සයෙක්. ස්තුතියි ආවාට. :)

      Delete
  5. ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete