Tuesday, November 12, 2013

මේ ඕනෑම දෙයක් සිදුවිය හැකි නොවැම්බරයයි



එක එක විදියේ කුමන්ත්‍රණ අතරේ නොවැම්බරයත් එළැඹුණි. නොවැම්බරය නම් මාරය. හැම ජාතියකම ඕනෑම දෙයක් නොවැම්බරයේ සිදු විය හැක. අප ජනපති ගෙ උපන්දිනයද අහම්බෙන් වගේ නොවැම්බරයේ ඇත. ඔහු දිනුවේද නොවැම්බරයේය. රටක් හොල්ලන අය වැය ද සමහර දාට එයි. ඔය හැම එකටම වඩා මේ පාර නොවැම්බරය පට්ට වැදගත්ය. ලොවක් හමුවන රටක් ජාතක වන වෙලාව යෙදී ඇත්තේ මේ නොවැම්බරයේය. මේ චෝගම් කාලයයි. දැන් මාස ගණනක සිට මුළු රටම එක සේ මේකට සැරසෙයි. බලන බලන අත පාට පාට කොඩිය, පත්තර, රේඩියෝ, ටීවී පමණක් නොව ෆේස්බුක් එකේද චෝගම් ය. ඒ මදිවාට රට පුරා පාගමන් රථ පෙරහද චෝගම් ගැනය. චෝගම් වෙනුවෙන් ගිනිසිළුවක් රැගෙන නොගියා පමණි. එච්චර අය මෙච්චර ඕක ගැන කියවන්නේ මොකක් හරි ලල් එකක් ඕකේ ඇති නිසාය. මට නම් හැඟුනේ ඔච්චරය. 


පහුගිය සතිය වෙනතුරුම මට එහි සැබෑ අගය නොතේරුනි. චෝගම් යනු දෙවියෙකි, මට ඇසී තිබුනේ එහෙමය. චෝගම් වෙනුවෙන් කැම්පස් සිසුන්ට නිවාඩු දෙන බව 6 වෙනිදා ආරංචි විය. චෝගම් දෙවියෙක් නොව දේවාලයක් බව මට දැනුනේ එවිටය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ මුල් පුටුව මාධ්‍ය ඇමතුවාය. ඇය කියන විදියට නම් නිවාඩු දෙන්නේ විශ්වවිද්‍යාල සිසුන්ගේ බලවත් ඉල්ලීම උඩය. චෝගම් කාලේ රථවාහන හැසිරවීමේ වෙනස්කිරීම් නිසා අපිට කැම්පස් එකට එන්නට අමාරුය, කොළඹට නම් ඕක හරිය. ඒත් මේ ඩොටේ කැම්පස් වල ඉන්න අපිට ට්‍රාන්ස්පෝට් අවුලක් එන විදියක් මට තවමත් හිතාගන්නට බැරිය. තවද අප කැම්පස් සිසුන් අතරින් හෙන ගොඩක් චෝගම් හි වැඩ වලට දායක වන නිසා ඒ දායක වන උන් ද  නිවාඩු ඕනෑ යැයි ඉල්ලලාය. චෝගම් තරුණ සමුළුවට යන මගේ යාලුවෙක් කීව විදියට නම් ඒකට ලංකාවෙන් ම එන්නෙත් 25කි. ඉතුරු අයට නිවාඩු ලැබෙන්නේ චෝගම් ගැන නිවි සැනසිල්ලේ ස්වයං අධ්‍යනය කරන්ටය, පත්තරේ නම් තිබුනේ එහෙමය. මං හිතන්නේ මං ඔය අන්තිම ගොඩේය, පේන හැටියට සෑහෙන පිරිසක් අයිති ඔය අන්තිම ගොඩටය. 



ඒත් මොකෙක්වත් ඔය කියන විදියට නිවාඩු ඉල්ලා කෑගැහුවා නම් මට කිසිම මතකයක් නැත. ඔය පැහැදිලි කිරීමෙන් පස්සෙ මොකෙද්දෝ කුමන්ත්‍රණ කාරයෙක් මරු එකක් ඇසුවේය, "එහෙනම් කැම්පස් වල හොස්ටල් වහල ළමයින්ට ඒවායෙන් යන්ට කියන්නේ ඇයි", මුටත් ඕන්නැති මගුලක් නැත. මූ අපේ හතුරෙක්ද සිතුනි. මේ කතා අහල මුල්පුටුවෙ ඉන්න හිරිඹුරේගම නෝනාට (එයාගේ නම  Professor Kshanika Hirimburegama ය. 'Kshanika' යන්න සිංහලෙන් ලියන විදිය මට හිතාගන්න බැරි නිසා ඔහොම ලීවෙමි) තරහ ගිහිං ඔය හම්බුන නිවාඩුවටත් කෙලෙව්වොත් ඉවරය. ඒත් ඒ නෝනා හොඳය, හොඳ ඉවසීමෙන් පිළිතුරු දුන්නාය. ඇය කීවේ කොහොම උනත් හොස්ටල් ටික අලුත්වැඩියා කරන්නට තිබුන බවත්, මේ හම්බුන වේලාවෙන් එකත් කරලා දැම්මාම හොඳ බවත් ය. චේතනාව නම් හොඳය, එහි වැරද්දක් නැත. (මට ඉතිං හිනා වෙන්න තැනක් ඉතිරි වී නොතිබිණි)


ඉතාමත් පිංබර අප රටේ අධ්‍යාපන ක්‍රමයේ සුජාත දූ පුතුන් වන වෛද්‍ය සිසුන් වූ අපට නිවාඩු යන වචනය ඇසෙන්නේ ද කලාතුරකිනි. ඇසුණත් දෙන තුරු ෂුවර් නැත, දුන්නත් ගෙදර යනතුරු ෂුවර් නැත, අම්මප ගෙදර ගියත් මගදී ආයේ එන්ට කියයි, එනිසා ඉවර වෙනතුරුම ෂුවර් නැත. බලාපොරොත්තු බිඳ වැටුනේ වෛද්‍ය පීඨ වල සායනික ඉගැන්වීම් කරගෙන යනවාද යන්න තීරණ කිරීමට ඒවායේ පීඨාධිපතිවරුන්ට අවස්ථාව ලබා දී ඇති බව ඇහුනාමය. ඒත් මේ ඕනෑම දෙයක් සිදුවිය හැකි නොවැම්බරයයි, ඩීන් නිවාඩු ඕනෑදැයි සිසුන් ගෙන් අසයි. වෙන්න බැරිම වැඩේ උනේය. දැන් වැඩේ ගොඩය, නිවාඩු ලැබුනා වගේය. ඒත් මේ ඕනෑම දෙයක් සිදුවිය හැකි නොවැම්බරයයි, අපේ උන් නිවාඩු එපා කියති. දෙන දෙයියෝ ඇන ඇන දෙන්නේ ටොකු බව තේරුනේ එවිටය. මුන්ට චෝගම් වල අගය තේරෙන්නෙ නැත. මේ කපේදී ගොඩ යන පාටක් නැත. කැම්පස් වල අනිත් උන් ඔක්කොම ගෙවල් වලට වී සිතු සේ චෝගම් ගැන ස්වයං අධ්‍යනය කරද්දී අපි උදේ පාන්දර නැගිට හොස්පිටල් යා යුතුය. මෙය හරිම අසාධාරණය. හොස්පිටල් ගිහිං ෆැකල්ටි ආවට ලෙක්චර්ස් නැත. 9ට විතර පනින උන්ගේ දවසම අපරාදේය. පාඩමක් කොරගන්නට library යන්න හදද්දී ඒකද වහලාය. හොස්ටල් කැන්ටිම්ද වසා ඇති වග මතක් වන විට බඩේ මාළු නටති. library වසා තිබුනද e-library එක ඇරලාය, මේක නම් පුදුම ෆැකල්ටියකි, ඊටත් වඩා මේ ඕනෑම දෙයක් සිදුවිය හැකි නොවැම්බරයයි. ඉතිං අපි e-library යේ ෆිල්ම් හා ටීවී සීරීස් බාමින් ෆෙස්බුකියට වී කල්මරමින් සිටියෙමු. දින දෙකක් ඔහොම විය. දෙවෙනි දින අපි විඳින දුක ඩීන් මහත්තයාට තේරුණි. වහා ක්‍රියාත්මක වන පරිදි අපටද නිවාඩු ලැබුණි. මම ගෙදර ආවෙමි. දැන් මටද තිබෙන්නෙ සියලු ප්‍රශ්න අමතක කොට නිවීසැනසිල්ලේ චෝගම් ගැන ස්වයං අධ්‍යනයන්හි නිරත වීමයි.



ඔය කියන විදියට මේ කරන්නේ අපිට හොඳකි. චෝගම් කලාතුරකින් රටකට ලැබෙන දෙයකි. මේ යන විදියට ෂුවර් එකට තව අවුරුදු ගණනකට අපේ රටට ඔහොම එකක් එන්නේ ද නැත. එනිසා එන එකෙන් උපරිමය ගන්නට ඕනෑය. අපි, විශ්වවිද්‍යාල සිසුන්, අකමැත්තෙන් උනත් මේ සාරවත් රටේ දීප්තිමත් අනාගතය බාර ගන්ට ඉන්න උන්ය. එනිසා අප ලෝකය දකින්නට උවමනාය, ලෝකය විඳින්නට උවමනාය. අපේ අප්පච්චීට අපව රට යවන්ට බැරිය. ඒත් කම් නැත, මේ ඕනෑම දෙයක් සිදුවිය හැකි නොවැම්බරයයි. රටේ ආඩම්බරකාර අප්පච්චි ලෝකය අපේ රටට ගෙනැවිත් දී ඇත. කැම්පස් වල ඉන්න සමහර උන්ට ඕක තේරෙන්නේ නැත. නිවාඩු එපා කියා කොටුවේ කෑ ගසන්නේ එබැවිනි. දැන් තියෙන්නේ ප්ලේන් එකෙන් හම්බන්තොටට ගිහිං චෝගම් තරුණ සමුළුව බලා, එන ගමන් හයි-වේ එකේ කොළඹ ඇවිත් එහි ඇති චෝගම් කාර් සහ චෝගම් මල් වෙඩි බලා, කෝච්චියේ එන ගමන් එහයින් ඇති කටුනායක-කොළඹ හයි-වේ එකත් බලා, ගෙදර ඇවිත් අම්මා හදන පොල් සම්බෝලෙයි බතුයි කා නිදාගෙන 18 වනදා උදේම නැගිට අලුතින් නවීකරණය කර ඇති අපේ කිරි කිරි හොස්ටල් එකට යාමයි...! 



2 comments:


  1. බලාගෙන හිටහන් මේන් කියල නවීකරනයද මොකද්ද එක කරල තියෙයි.... :D
    අස්චර්යා නෙ බොලව්.
    රිටන් එකත් නොවැම්බරේම බජට් එකෙන් හම්බවෙයි සමහරවිට..
    අදයි මේ පැත්තට ආවේ
    දිගටම ලියන්න

    ReplyDelete
  2. නවීකරණය වෙලා තියෙයිද හොස්ටල් එකත් එක්කම අතුරුදහන් වෙලා තියෙයිද කියල තමයි ෂුවර් නැත්තෙ... හි හි...

    ReplyDelete