Thursday, August 8, 2013

ප්‍රශ්න ගොඩක් එක උත්තරයක්


අවුරුදු කිහිපයක් වෙනත් රටක ඉඳල පහුගිය දවසක නිවාඩුවකට ලංකාවට ආපු මගෙ මිතුරියක් එක්ක වුනු කතාවකින් මගේ පොස්ට් එක පටන් ගන්න හිතුවා. ලඟදි හම්බවෙලා ආ ගිය තොරතුරු විස්තර කතා කරද්දී ඇය කියනවා ඒ රටවල් වල මිනිස්සුත් එක්ක බලද්දී අපේ රටේ මිනිස්සු මාර හොඳයිලු, ගතිගුණ, සමාජ සම්බන්ධතා එකිනෙකා ගැන හිතන පතන විදිය මේ හැම දේම අතින් ලංකාවෙ මිනිස්සු ගොඩක් ඉස්සරහින් ඉන්නවලු. ඇත්ත වෙන්න ඇති මං මොනව කියන්නද, මම ඉතිං මේකෙන් එලියට අඩියක් ගහල වත් තියෙයියැ, ඉතිං ඒ මනුස්සය දැකල විඳලා තියෙන දේවල් වල හැටියට ඒ අදහස පිළිගන්න සිද්ධ වෙනව. ඒත් මේකේ ජිවත් වුනු ඔබට මට ඇයි එහෙම හිතෙන්නෙ නැත්තෙ? අපේ සමාජය ගැන කතාකරද්දි මට නම් මේ දේශපාලනික ප්‍රවාහයට අහුවෙලා නන්නත්තාර වෙලා ඉන්න අපිම ගැන හිතෙන්නෙ පිළිකුලක්. මේක මහ කාලකන්නි රටක් කියල නොහිතෙනවා කිවොත් ඒක බොරුවක්. අපේ මිනිස්සුන්ගෙ ගතිගුණ වටිනාකම් පරයල මට මතක් වෙන්නෙ පාට පක්ෂ වලට අපේ උන් ගහ මරාගෙන ලේ හලාගන්න හැටි. 

මෙච්චර කාලයක් මේකේ හිටපු මට අපේ වටිනාකම් නොපෙනී අර සමාජ වාතාවරණය පෙනෙන්නෙ ඇයි? 

අවුරුදු දෙක තුනක් මෙහෙ නොහිටපු ඒ මනුස්සයට මට පෙනෙන සමාජය නොපෙනී අර අපේ වටිනාකම් පෙනෙන්නෙ ඇයි? 

එකම සමාජය ගැන දෙන්නෙක් ට දෙවිදියකට පෙනෙන්නෙ ඇයි? 


මේ හැම ප්‍රශ්නෙකටම උත්තරේ එකක්. ඒ උත්තරේ හොයාගන්න පුළුවන් වෙන්නෙ මගේ මිතුරිය නොදැක්ක මම  මෙහෙ ඉද්දි දැක්ක සමාජ සිද්ධි දාමය මොකක්ද කියල ආපස්සට  කල්පනා කරලා බැලුවොත් විතරයි.   



සමස්ත සමාජයම එකිනෙකට වෙනස් සිදුවීම් මාලාවක් නිසා කලබල වුණු තත්වයක් පහුගිය කාලෙදි ඇති වෙලා තිබුණ. එකිනෙකට වෙනස් වුනත් හොඳින් කල්පනා කරලා බැලුවොත් ඒ හැම සිදුවීමක්ම එක්තරා දම්වැලකින් එකිනෙකට සම්බන්ධ කරන්න පුළුවන්. දේශපාලනය, ලංකාවෙ හැම අස්සක් මුල්ලකටම තමන්ව විහිදුවාගත්තු මහා විශාල පිළිලයක්. අර සිදුවීම් නිසා මුළු මහත් සමාජයම ඇවිලිලා තිබුනත්, ඒවායින් වන සමාජ බලපෑම ගැන ජනතාවගේ ඒතරම් අවබෝධයක්,දැනුවත්කමක් වගේම ගණන් ගැනීමකුත් නැහැ වගේ. ඇයි අපිට මෙහෙම වුනේ? විවෘත සංවාදයක් ගොඩනගන්න මේ තරම් ගැලපෙන මාතෘකාවක් නැති තරම්. එවන් සංවාදයක අවශ්‍යතාවය දැනෙන යුගයක් දැනටත් වඩා නැති තරම්.
  

අත්අඩංගුවට ගැනීම, මෑත ඉතිහාසයේ ප්‍රසිද්ධම සිදුවීම හිටපු ජෙනරාල් සරත් ෆොන්සේකා මහත්තයව අත්අඩංගුවට අරගෙන හිරගෙදරට යැවීම. එතැනින් පටන්ගත්තු සිදුවීම් දාමය එක එක අවස්ථා පහුකරගෙන ඇවිත් ප්‍රාදේශීය දේශපාලකයො අත්අඩංගුවට 'ගන්න' නෙවෙයි අත්අඩංගුවට 'පත්වෙන' කාලයක් ඇවිත්. ඒ පින් අතේ වැඩ කරලා නම් නෙවෙයි, එක එක දුෂණ වංචා මැරකම් ජඩකම් හින්ද. පාසැල් ගුරුවරියක් දනගස්සපු පළාත් සභා මන්ත්‍රීවරය රිමාන්ඩ් එකට යනව. එත් ඒ මනුස්සය රිමාන්ඩ් එකෙන් එලියට එන්නෙ ආධාරකරුවන්ගේ ජයඝෝෂා මැද්දෙ වීරයෙක් වගේ අත් දෙක උස්සගෙන. ඊළඟ පළාත් සභා චන්දෙට ඒ මහත්තය අයදුම් කලත් පක්‍ෂයෙන් ඒ අයදුම්පත ප්‍රතික්‍ෂේප වෙනවලු. ඒ අතරෙ ඒ හිටපු මන්ත්‍රීගේ බෑනාට නාමයෝජනා හම්බවෙනවා. ප්‍රශ්නයක් නෑනෙ, මාම ට නෙවෙයිනෙ. ඔය වගේම පහුගිය කාලෙදි ප්‍රාදේශීය දේශපාලකයො කීපදෙනෙක්ම රක්ෂිත බන්ධනාගාර ගත වෙන්නෙ උන් කරපු වීරකම් වලට නෙවෙයි, වංචා දුෂණ, මැරකම් හින්ද. එත් උන් හැමෝම එලියට එන්නෙ වීරයෝ වගේ, ඒ විතරක් නෙවයි එලියට ඇවිත් කැමරාවටත් හිනා වෙනව. උන් ඒ හිනා වෙන්නෙ අපිටද? 


දේශපාලකයො හිරේ යන අතරේ තවත් ප්‍රසිද්ධ චරිත 2ක් අත්අඩංගුවට ගන්නව. ඒ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජිව බණ්ඩාර මහත්මය සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු කිඹුල්ලෑවේ චන්ද්‍රානන්ද හිමියෝ. අර කලින් සිදුවීම් වලට වගේම මේවටත් රටේ ජනමාධ්‍ය වලින් අගේ කරන්න බැරි තරම් ප්‍රචාරයක් ලබා දුන්න. අපේ රටේ මිනිස්සුත් මේ සිදුවීම් දෙක ම ගැන කතා කළා. ඒත් ඒ සිදුවීම් දෙක අතර තියෙන වෙනස හරියට අඳුන ගත්තෙ කීයෙන් කීදෙනාද. කැම්පස් එකට ඉගෙනගන්න ආපු උන් ඇයි හිරේ ගියෙ? උන් අපේ රටේ ඉස්සරහට කැම්පස් එන පරපුරේ අනාගතය වෙනුවෙන් කෑ ගහපු හින්දද? අනාගත පරපුරේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් තමන්ගෙ අධ්‍යාපනය කැප කරල පාරට බැහැපු නිසාද? කැම්පස් එන හැමෝටම ඔය වැඩේ කරන්න බැහැ. කෙනෙක් කියයි ඕක නවක වදයේ අතුරු ප්‍රතිපල කියල, තව එකෙක් කියයි උන්ගෙ ගොන් මොරාල් එක කියල, අපේ සල්ලි වලින් ඉගෙනගන්න ඇවිත් මුන් දේසපාලනේ කොරනව-ඒ තව කෙනෙක්, මුන් හදන්නෙ ආණ්ඩුව පෙරලන්න, විපක්ෂයේ කණ්ඩායම් එක්ක එකතු වෙලා බටහිර අධිරාජ්‍යවාදීන්ගේ න්‍යාය පත්‍ර වලට අනුව අපේ රටේ සංවර්ධනය ආපස්සට ගන්නයි මුන්ට ඕනෙ, එහෙම කියන අයත් ඉන්නව. 


අන්තිමට අන්තරේ කැඳවුම්කරුවොයි ප්‍රාදේශීය දේශපාලකයොයි දෙගොල්ලම එකට හිරේ ලගිනවා. එක කාලයක් තිබුනලු අපේ රටේ හිරගෙවල් බන්ධනාගාර බුද්ධිමතුන්ගෙන් පිරිල තිබුන කාලයක්. තුන්හෙළේ කැලෑ වල සිංහ පැටවූ නෑ උන් රට අතහැරල දාල ගිහින් කියල, හන්තානෙන් එන්නෙ මල සොයුරන් ගැන ගුගුරන මනසේ කකියන පැතුමන් මිසක් ප්‍රේමයේ සුවඳ නෙවෙයි කියල නන්දා මාලනී කිව්වෙ ඒ කාලය ගැන වෙන්න ඕනෙ. හොරු, දුෂිතයන් සහ වීරයන් වෙන්කරලා හඳුනාගන්න තවමත් අපි අසමත් වෙලා. ඔබ ඒ දිහා බැලුවෙ කොහොමද? 


උද්ඝෝෂණ, හැමදාම හැම තැනදීම උද්ඝෝෂණයක් පිකට් එකක් කිවොත් කැම්පස් එකේ කාලකන්නි හැත්ත එතන ඇති. අපේ රටේ මිනිස්සු එදා වගේම අදත් හිතං ඉන්නෙ එහෙමයි, හෙට හිතන්නෙත් එහෙමයි. ඒත් ඒ මනුස්සයින්ට අමතක වෙනව දේශප්‍රේමී විමල් විරවංශ සහ කැළ ජිනීවා වලට විරුද්ධව පිකට් කරපුව, හරක් මරනවට විරුද්ධව හාමුදුරුවො පාරට බැහැපුවා, බොදු බල සේනාව පාරට බැහැපුවා. 


දළඳා මාලිගාව ඉස්සරහ හාමුදුරු නමක් ගිනි තියාගෙන සියදිවි හානි කරගත්ත, මොකටද? හරක් මරනවට එරෙහිව. දැන් ඒක මතකද? දැන් හරක් මරණ එක නැවැත්තුවද? මැරුණට වඩා ජීවත්ව ඉඳල වැඩක් කරන්න තිබුණ, අපරාදෙ ජිවිතයක්. අපේ රටේ සිංහල ජාතියේ ප්‍රතිශතය අඩු වෙනවලු, වැඩි කල් යන්න කලින් අපිට මහ ජාතිය කියන නම්බුව නැති වෙයිලු. ජාතිමාමක පිරිස් එකතු වෙලා මේකට පාරට බැස්ස, මිනිස්සු දැනුවත් කලා, රැස්වීම් තිබ්බ, අසාර්ථක නැහැ, සාර්ථකයි, ඒත් දැන් ගොඩක් මිනිස්සුන්ට ඒක අමතක වෙලා. ආයෙත් හලාල් කනව. ප්‍රශ්නය එතැනයි.  


කැම්පස් එකේ ළමයි පාරට බැහැල කෑගහද්දි කැමරා වලට අදහස් දක්වන මිනිස්සු කියන්නෙ කාලකන්නි පිකට් කරනව, අපිට උන් නිසා කරදරයි ගමනක් යන්න විදියක් නෑ කියල. එත් ඒ මනුස්සයින්ට ඒ වගේ කරදරයක් විමල් විරවංශ ජිනිවා එපා කියල පිකට් කරද්දී, දේශප්‍රේමී ජනප්‍රිය කලාකරුවො අගනුවර හංදියක් හංදියක් ගානෙ පාරවල් පුරා බෝඩ් ලෑලි උස්සගෙන කෑ ගහද්දි, හරක් මරනවට විරුද්ධව හාමුදුරුවො පාරට බැහැල නීතිය අතට ගනිද්දී ඇති වුනේ නැද්ද?  


අපේ රටේ බලධාරීන් රටේ හැමතැනම සංවර්ධනය කරනව, දැවැන්ත මහා පරිමාණයේ සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක වෙනවා. වැඩේ හොඳයි, රටක් සංවර්ධනය වෙන්න ඔය මහා මාර්ග, අධි වේගී මාර්ග, ගුවන් පාලම්, ගුවන් තොට, වරායවල් ඕනෙ, ඉතාම අගෙයි, පසසන්න ඕනෙ. ඒ විතරක් නෙවයි අනිත් රටවලට ආධාර දෙන්න තරම් අපි පොහොසත් දැන් දුප්පත් රටවලට මුදල් ආධාර දෙනව. ජනප්‍රිය දෘෂ්ඨියෙන් බලන එක පැත්තකින් තියල කල්පනා කලොත් ඒ රටවලට ආධාර දෙන්න කලින් අපේ රටේ ඈත කොනක තියෙන පාසැල් ටික හදල ඉවර කරලම හිටිය නම්, ඒවාට ඩෙස් බංකු ටික දීලම හිටිය නම් කියල හිතන්න බැරි ජන සමාජයකින් තියෙන වැඩේ මොකද්ද? 


ආසන්නතම සිද්ධිය රතුපස්වල ගැටුම. සමාජ මතවාද උඩුයටිකුරු කරන්න ඒ සිද්ධිය සමත් වුනා. මේ වෙනකොට සතියකට වඩා ගත වෙලා. ඔවුන්ට මොකද වුනේ? 3න් දෙනෙක් මලා එච්චරයි. ඒ වෙනුවෙන් කමිටුවක් පත් කරාලු ඒ විතරක් නෙවෙයි ඒ කමිටුවේ වැඩකටයුතු වලට රජයේ කිසිම බලපෑමක් කරන්නෙ නැතිලු. එතකොට ඔක්කොම හරි. ඉතුරු වෙලා තියෙන පුංචි පුංචි ප්‍රශ්න ටිකත් එදා ජනාධිපතිතුමා වරාය අරින්න උත්සවේට ඇවිත් වේදිකාවට නැගල වචනයක් දෙකක් කතා කලාම ඉවරයි. දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ. අපේ රටේ මිනිස්සුව ඒ වගේ සරල තත්වයකට පත් කරලා ඉවරයි. 


මං මුලින්ම කිවේ පහුගිය කාලේ වුන ඒ හැම දෙයක්ම හරි අපුරුවට දේශපාලනය කියල විෂයයෙන් පැහැදිලි කරන්න පුළුවන්. හැම තැනටම දේශපාලනය රිංගල ඉවරයි. දේශපාලනයේ මැදිහත් වීම නැති එකම එක දෙයක් මතක් කරගන්න ඔබට මට කාටවත් ලේසි වෙන එකක් නැහැ. 


මේ ප්‍රශ්න වලට සංවේදී නැති මනුස්සයෙක් බිහි කරන්න ජනමාධ්‍ය කොච්චර දායකත්වයක් දීල තියෙනවද කියල බුද්ධිමත්ව විමසල බලන්න ඕනෙ දෙයක්. හොඳම උදාහරණය හැමදාම පත්තරේ තියෙන කාටුන් එක. සමාජයේ දැවෙන මොකක් හරි ප්‍රශ්නයක් ඉතාම සරල උපහාසාත්මක ස්වරූපයකින් උදේ පාන්දර මනුස්සයො ඉස්සරහට ගෙනත් පෙන්නනවා. අපිත් ඒක දිහා බලල ඒ විහිලුවට හිනා වෙලා අනිත් පිටුව පෙරලනවා. ප්‍රශ්නය අමතකයි. ඔය විදියට අවුරුදු ගානක් දිනපතා කරනකොට අපි විචාර බුද්ධිය නැති වෙන එක පුදුමයක් නෙවෙයි කොහොමත්. ඔය අපිව වෙනස් කරපු එක විදියක් විතරයි. 


දේශපාලනය පැත්තක තියල අපේ මිනිස්සුන්ගෙ ගති ගුණ වටිනාකම් ගැන හිතල බැලුවොත්, ඇත්ත අපේ සමහරු තවමත් ඒ වටිනාකම් සිරිත් විරිත් ඒ විදියටම රකිනව. පහුගිය කාලෙ එක්තරා දුරකථන සමාගමක වෙළඳ දැන්වීම් කීපයක් මට මතක් වෙනවා, අර පාර අහන මනුස්සයෙක්ට තැඹිලි බොන්න දෙන එක, පාරෙ ඇවිදන් යන වයසක කෙනෙක්ව බයිසිකලේ නවත්තල දාගෙන යන එක. "ලෝකෙ අනිත් අයට වඩා අපේ රටේ මිනිස්සු වෙනස්, ඒ වෙනසට ගරු කරන අපි ........" ඔන්න අන්තිමට අපිට කියන දේ. මට තියෙන දුක මේකයි, අපේ රටේ මිනිස්සුන්ගෙ මේ වගේ ගති ගුණ තියෙනව කියල මතක් කරල දෙන්න මොකක් හරි වෙළඳ දන්විමක්ම ඕනෙ වුන  තත්වෙකට අපි වැටුන එකයි. එතකොට අපි අපි ගැන ඇත්තටම ආඩම්බර වෙන්න ද ඕනෙ?


අපේ ජන සමාජය නිර්වින්දනය කරලා. මේ හැම දෙයක්ම ඒකෙ ප්‍රතිවිපාක. ප්‍රදීප් දසනායක පන්නරයට ලියනව පරමාදර්ශය අපිට අහිමි වෙලයි කියල. අනාගත පරම්පරාවට අත දික්කරල මෙන්න මේ පාරෙ යමල්ලා කියල්ල පුළුවන් සමාජ පරමාදර්ශයක් අපිට නැහැ. අපි හැමෝම ඒ හිස්තැන දිහා ඔහේ  බලාගෙන ඉන්නවා විතරයි. අවට සිද්ධ වෙන ගොඩක් දේවල් නිකම්ම නිකං සරල සිදුවීම් විදියට සලකල  ඒ සමාජ ඛේදවාචකය ඉස්සරහ අඳ-ගොළු-බිහිරන් වගේ ඉන්න පිරිස සමාජයේ බහුතරය නිර්මාණය කරනව. 


හැම දේම දේශපාලනීකරණය වෙන සමාජයක ඒ ප්‍රවාහය ආපස්ස හරවන්න නෙවෙයි මේ කාලය. අපි කරන්න ඕනෙ මේ දේශපාලනික ප්‍රවාහය සහ ඒකෙ ඇතුලෙ වෙන දේවල් හරි හැටි විග්‍රහ කරගන්න එකයි. ඒත් කිසි මග පෙන්වීමක් නැතුව ඔහේ හිතුමතේ දුවන සමාජයක මේ දේ වෙයි කියල නම් හිතන්න අමාරුයි. මම හොයපු උත්තරේ මට හම්බවුණා. මගේ මිතුරිය නොදැකපු, මම දැකපු ඒ සමාජ යථාර්තය ගැන මම කතා කලේ ඒ සම්බන්ධ සංවාදයක කාලීන අවශ්‍යතාවය නිසා. මම දේශපාලනය ගැන මහා ලොකුවට කතා කරන ලියන කෙනෙක් නෙවෙයි. කොටින්ම දේශපාලන විචාරකයෙක් නෙවෙයි. මං කියපුව අමුතු දේවලුත් නෙවෙයි, මේ වගේ ඒවා, මේ කතන්දර ඕනෙ තරම් දැකල, කියවල ඇති. ඒත් එතැනින් එහාට අපි මොනවද කලේ? අපි සමාජ යථාර්තය දැක්කට ඒ ඛේදවාචකය වෙනුවෙන් අපිට ඇති වගකීම ගැන කතා කරනව අඩුයි. අපි හැමෝටම පුළුවන් අපි ගැන කතා කරන්න, අපි හැමෝටම පුළුවන් තව කෙනෙක්ව කතා කරවන්න. අපි හැමෝම අපේ අනාගතය වෙනුවෙන් වචන අවදි කරන්න ඕනෙ කාලයයි මේ. 


4 comments:

  1. හ්ම්ම් ..වෙලාවකට මටත් හිතෙනවා මේක මහා කලාකන්නි රටක් කරගෙන කියලා

    ReplyDelete
    Replies
    1. "කරගෙන" හරියට හරි රෙහානි මේක අපිට වුන දෙයක් නෙවෙයි, අපි අපිටම කරගත්තු දෙයක්

      Delete
  2. මචන් උඹේ ලිපිය කියෙව්වහම මට දැනුනෙ පුදුම සතුටක් ඒ මොකද මම දකින මම ජීවත් වෙන මේ මජර ගලන සමාජ වාතාවරණයම උඹත් දැකීම.මමත් කාලයක් තිස්සෙ හිතව්ව ඇයි අපේ රට ගැන මට මේ වගේ කලකිර්‍රමක් ඇති වෙලා තියෙන්නෙ කියල.උඹේ කතාව හරි මේකට මූලිකම හේතුව අපේ රටේ තියෙන කාලකණ්ණි දේශපාලනේ. අපි කැම්පස් ආවෙ දේශපාලනේ කොරන්න නෙමේ.හැබැයි මොකද මේ කැම්පස් අපිට විතරක් මේ දේශපාලන ක්‍රමය අරහන් වෙන තත්වයක් ඇති වෙලා තියෙන්නෙ? අන්න ඒකට උත්තරේ හිතනකොට තමයි මට අපි 7 පන්තියෙ සමාජ අධ්‍යනය පාඩමට ඉගෙන ගත්තු මිනිසාගේ මූලික අවශ්‍යතා මතක් උනේ. ආහාර, ජලය, වාසස්ථාන ඊට පස්සෙ ඇදුම් පැළදුම් ඕනෙම නම් ඉතින් සහකරුවෙක් හෝ සහකාරියක් ...... මේවට සාර්ථක විසදුම තියෙන අය තමයි තමන්ගෙ චින්තනය ප්‍රගුන කරන්නෙ,තමන්ගේ පරිකල්පන ශක්තියෙන් අනාගතය දකින්නෙ. අපේ සමාජය ඇතුලටම කිදා බැස්සොත් කීයෙන් කී දෙනාටද ඔය තත්වෙට එන්න පුලුවන් වෙන්නෙ?? චන්දෙ කාලෙට අතට කීයක් හරි දෙන,වගා කරන්න උදලු තලයක් දෙන, චන්දෙන් දින්නහම ජොබ් කට්ටක් දෙන්න පුලුවන් ඕනෙම කෙනෙක්ට මේ රටේ මිනිස්සු චන්දෙ දෙනව..... මොකද බඩ ගින්න නිවා ගන්න ඕන නිසා මොනව කරන්නත් කලින්. කැම්පස් අපි ගත්තොත් තත්වෙ ටිකක් වෙනස් නේද....... අපිට කන්න අදින්න තාමත් වියදම දෙන්නෙ අපේ අම්ම තාත්ත ඉන්න හොස්ටල් එක තියෙනව....... අපිට තියෙන්නෙ හරි නම් පාඩම් කරල ව්භාහ ටික ගොඩ දාන්න විතරයි.ඒත් අපිට පේන්න ගන්නව සමාජ පරිහානිය, කුණු ගද ගහන දේශපාලනේ සමාජයේ සෑම අස්සකටම රින්ගල විනාශ කරන හැටි..... මේව දකින කොට අපේ ලේ රත් වෙනව..... පාරට බහින්න හිතෙනව..... කෑ ගහන්න හිතෙනව. ඒක වැරදියි කියල කාටවත් කියන්න බෑ..... මොකද මේ කැම්පස් ඉන්න අවුරුදු 3 /4 ට අපිට අර මම කලින් කියපු මූලික අවශ්‍යතා තදින් දැනෙන්නෙ නෑ....... අපිට හිතන්න වෙලාවක් තියෙනව..... අපිට අපේ පරිකල්පනය දියුණු කරන්න වෙලාවක් තියෙනව......එතකොට තමයි අපිට සමාජ ප්‍රශ්න පේන්නේ.හැබැයි කැම්පස් අවුරුදු 3/4 ඉවර වෙලා එළියට එන දවසට අපිටත් සිද්ධ වෙනව අපේ අම්මල තාත්තල මුහුන දුන්න ජීවන සටනට මුහුණ දෙන්න.එතෙන්දි අපිටත් සිද්ධ වෙනව දේශපාලුවන්ට කඩේ යන්න.......උන්ගෙ පදේට නටන්න......උන්ට චන්දෙ දීල උන්ව ඉහලට යවන්න. එහෙම නොකලොත් ජීවන සටනෙදි අපි පරාද වෙනව.අන්න ඒක හින්ද අපිට ඉක්මන්ට ගොඩක් දේවල් අමතක වෙනව අමතක වෙන දේවල් පෙන්නල දෙන්න ගියහම මළ පනිනව....... ඔන්න ඕකයි බන් යථාර්තෙ.

    ReplyDelete
    Replies
    1. උඹ කියන දේ සහතික ඇත්ත බං. අපේ වෙනස තියෙන්නෙ ඔතනයි, මුළු සමාජෙම බනින්නෙත් ඔතනටයි. කැම්පස් ඉන්නකල් පිකට් යනවා, කෑ ගහනව. ඒත් එළියට ගිහිං රස්සාවක් කරල ගෑනියෙකුයි වාහනේකුයි අරගෙන ඒකිව ඉස්සරහ ෂිට් එකේ තියාගෙන කොළඹ රවුමක් යද්දි උන්ට පස්සෙ ආපු කැම්පස් කොල්ලො කෙල්ලො පිකට් එකක් කරනකොට පාර හරස් වෙලා ට්‍රැෆික් එකේ ඉන්න වෙද්දි කියනව
      "කාලකන්නි පිකට් කරනව"
      ඇත්ත,
      "අපිට ඉක්මන්ට ගොඩක් දේවල් අමතක වෙනව අමතක වෙන දේවල් පෙන්නල දෙන්න ගියහම මළ පනිනව....... ඔන්න ඕකයි බන් යථාර්තෙ."

      Delete