Monday, January 7, 2013

කියවන්නා (The Reader)


50 දශකයේ ජර්මනිය, වයස අවුරුදු 15ක කොලු ගැටයෙක්, මයිකල් බර්ග් (Michael Berg) පාසැලේ ඉඳල ගෙදරට යන අතරමගදී තදබල විදියට අසනීප වෙනවා. ඒ වෙලාවේදී ඔහුට උපකාර කරන්නෙ හැනා ෂ්මිට් (Hanna Schmitz), 32 හැවිරිදි කාන්තාවක්. ඇය ඔහුව තමන්ගෙ ගෙදරට එක්කගෙන ගිහින් ප්‍රතිකාර කරනව. තමන්ගේ රෝගය සුව වුනාට පස්සෙ මයිකල් හැනා ගෙ නිවසට එන්නෙ මල් පොකුරකුත් අරගෙන එදා ඇය කරපු උපකාරයට ස්තුති කරන්න. ඒ හමුවීමෙන් පස්සෙ එකිනෙකා ගැන ආකර්ෂණය වන ඔවුන්ගෙ සම්බන්ධය ලිංගික සම්බන්ධයක් දක්වා දුරදිග යනවා. වයස අවුරුදු 15ක කොලු ගැටයෙක් වුන මයිකල් මේ අහම්බෙන් තමන්ට ලැබුණු අත්දැකීමේ ආශ්වාදයට ඇබ්බැහි වෙනව. ඔහු ඉන් පස්සෙ හැමදාම පාසැල් ඉවරවෙලා තමන්ගේ ගෙදරට නැතුව, හැනාගේ ගෙදරට දුවගෙන යන්නෙ ඇය සමඟ තමන්ගෙ දිනයෙ ඉතුරු ටික ගතකරන්නයි.


ලිංගික සබඳතා පැවත්වුවට පස්සෙ හැනා බොහෝ වෙලාවට මයිකල්ට කියන්නෙ තමන් පොත් කියවනවා අහගෙන ඉන්න කැමති බවයි. ඒ අනුව මයිකල් තමන් පාසැලෙන් ඉගෙනගන්න ග්‍රීක සම්භාව්‍ය සාහිත්‍යයේ සහ බටහිර සාහිත්‍යකරුවන්ගේ විවිධ පොත් හැනා ට ඇහෙන්න හඬගා කියවනවා. මේ ක්‍රියාවලිය අන්තිමට “Read to me first, kid. Then we make love.” කියන තැනටම යනව. දිනක් මයිකල් හැනා හමුවෙන්න ගියාම හැනා නැති බවත් ඇය ඔහුව හැර ගිය බවත් දැනගන්නවා. ඇය ගැන තොරතුරු හොයන්න මයිකල් ගන්න උත්සාහයත් නිශ්ඵල වෙනවා. ඔවුන්ගෙ සම්බන්ධය අවසානයකට එනව.


ඒත්, අවුරුදු 8කට පස්සෙ මයිකල් හැනාව දකින්නෙ එදාට වඩා සම්පුර්ණයෙන්ම වෙනස් පසුබිමක් එක්ක. ඒ වෙනකොට මයිකල් නීතිය හදාරන ශිෂ්‍යයෙක්. හැනා ඔහු ඉගෙනගන්න විෂය කරුණු වලට අභ්‍යාසයක් විදියට නැරඹීමට යන දෙවන ලෝක යුද්ධයේදී යුධ අපරාධ සිදු කල අයට විරුද්ධව පවත්වන නඩු විභාගයක විත්තිකාරියක්. එහිදී ඔහු හොයාගන්න දේවල් වලින් ඔහු පුදුමයට පත්වෙනව. යුදෙව් කාන්තාවන් 300ක ගෙ මරණයට වගකිවයුතු අපරාධකාරියක්, හැනා දෙවෙනි ලෝක යුද්ධ කාලයේදි නාසීන් විසින් පවත්වාගෙන ගිය රැඳවුම් කඳවුරක පාලිකාවක් ලෙස කටයුතු කල අයෙක්.

ඇයත් ඇතුළුව තවත් පාලිකාවන් පස් දෙනෙකුට විරුද්ධව පවරා තියෙන නඩුවේ එක් මොහොතක යම් ලේඛනයකට අත්සන් තබා තියෙන්නෙ හැනා දැයි උසාවියට දැනගන්න අවශ්‍ය වේලාවකදී ඒ අත්සන තමන්ගේ බව ඇය පවසනවා. අනිත් පාලිකාවන්ට කෙටි සිරදඬුවම් ලැබෙද්දී හැනාට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලැබෙනව. ඒත් මේ සිදුවීම් හරහා මයිකල් හැනාගේ රහස හොයාගන්නවා. ඒ ඇයට අකුරු කියවීමට හෝ ලිවීමට බැරි බව. ඒ නිසා ඔහු නැවතත් ඇයට කියවන්නෙකු බවට පත් වෙනවා.
 

සිරගත වුනාට පස්සෙ කාලයක් පුරාම මයිකල් විවධ පොත් වචනයෙන් කියවා පටිගත කරලා ඒ කැසට් පට හැනා වෙත යවනවා. ඒ ඇයට අහන්නට. කලක් ගත වුනාට පස්සෙ ඇගේ සිර මැදිරිය කැසට් පට වලින් පිරිලා යනවා, එත් එක්ක ඇය ලියන්න කියවන්න ඉගෙනගන්නවා. වසර විස්සකට ආසන්න කාලයකින් ඇය නිදහස් කරන්න තීරණය කරන බලධාරීන් ඒ බව මයිකල්ට දනවනවා. ඔහු ඇය වෙනුවෙන් හැමදේම නිවසක්, රැකියාවක් මේ හැමදේම සුදානම් කරනව. නමුත් නිදහස් වෙන්නට අවසන් මොහොතේදී ඇය සියදිවි නසාගන්නව. ඇයගෙ අවසන් ඉල්ලීම වුනේ සිරගෙදර හිටපු කාලෙදි ඇය උපයගත්තු මුදල් අකුරු නොදන්නා වැඩිහිටියන්ට අකුරු උගන්වන්න වැයකරන්නයි. මයිකල් ඇගේ අවසන් ඉල්ලීම ඉටු කරනව. චිත්‍රපටය අවසන් වෙන්නෙ මයිකල් මීට පෙර කාටවත් නොකිව්ව තමන්ගෙ ඒ කතාව, තමගේ ජිවිතයට හැනාගෙ තියෙන සම්බන්ධය, තමන්ගෙ දියණියට කිවීම ආරම්භ කිරීමත් එක්කයි.
" එක්තරා සුන්දර දවසක පිරිමි ළමයෙක් පාසැල ඇරිලා ගෙදර එද්දී හොඳටම අසනීප වුණා. කරුණාවන්ත හදවතක් තියෙන කාන්තාවක් ඔහුට..."
 

ඒ වසර 2008 දි තිරගත වුනු The Reader චිත්‍රපටයේ කතාවයි. එය අධ්‍යක්ෂණය කරන්නේ Stephen Daldry, පිටපත David Hare ගෙන්. චිත්‍රපටය පදනම් වෙන්නෙ ජර්මන් නවකතාකරුවෙක් වන Bernhard Schlink ගෙ මෙම නමින්ම ලියවුනු නවකතාවයි.

Prof. Bernhard Schlink

කියවන්නා-The Reader අපිට කියන්න හදන්නෙ මොන වගේ දේවල්ද කියල සලකල බලන එක වටිනව, මොකද සාමාන්‍ය ප්‍රේක්ෂකයා දකින විදියට මේ ආකාරයේ කතාවක වැදගත්ම සිදුවීම වන්නේ ගැටවරයෙක් සහ වැඩිහිටි ගැහැනියක් අතර පවතින ඒ අසම්මත සම්බන්ධතාවයයි. නමුත් සාමාන්‍ය ප්‍රේක්ෂකයාගේ ඒ බලාපොරොත්තුව සුනුවිසුණු කරමින් චිත්‍රපටය තුලදී ඒ අසම්මත ඇසුරට ලබා දෙන්නෙ නොවැදගත් තැනක්. ඇතැම් විට ඔවැනි අසම්මත ඇසුරු අප සංස්කෘතියේ තවම ප්‍රචලිත නැති නිසා (ගොඩයන්ට මැජික් වගේ) එම සිදුවීමට වැදගත් කමක් ලබාදීම අපි බලාපොරොත්තු වෙනවා ඇති. 


කෙසේ වුවත් චිත්‍රපටයේ සිදුවීම් එක්ක මයිකල්ට තමන් වරදකාරී ලෙස හැඟෙන්නේ කුඩා දරුවෙක් විදියට වැඩිහිටි ස්ත්‍රියක් සමග ලිංගික සබඳතා පැවැත්වීම නිසා නෙවෙයි, තමන් වරදකාරී වෙන්නෙ නාසි ස්ත්‍රියක් සමග ලිංගික සබඳතා පැවැතිවීම නිසයි. එහිදී ඉස්මතු වෙන්නෙ දෙදෙනෙක් අතර සබඳතාවයකදී නොපෙනෙන තුන්වැනි පාර්ශවයක බලපෑමයි.
 

නමුත් චිත්‍රපටයේ වැදගත්ම පණිවිඩය ඒක නෙවෙයි. හැනා ගේ ජීවිතය ගොඩනැගෙන්නෙ කවුරුත් නොදන්න මහා රහසක් එක්ක. ඒ ඇයට අකුරු කියවන්න ලියන්න බැරි බව. ඇය ඒ රහස තියාගෙන සාමාන්‍ය ජිවිතයක් ගතකරනවා, මයිකල් ඇගේ ජිවිතයට ඇතුල් වෙනතුරු. දෙදෙනෙක්ගෙ සම්බන්දයකදී එකිනෙකා ගැන රහස් තියාගෙන ඉන්න අමාරුයි. නමුත් ඇය ඇගේ රහස කාටවත් හෙළි කරන්න අකමැතියි. ඒ වගේම ඇයට කියවන්න බැරි වුනත් පොත් වල තියෙන දේ දැනගන්න ආසයි. ඇයට ඉතිරි එකම විසඳුම කෙනෙක් ලවා කියවීමයි. එසේ කියවන්නාව රඳවා ගන්න ඇගෙන් යමක් ඔහුට ලැබෙන්නට ඕනෙ. ඉතිං ඇගේ නොහැකියාව කියන රහස රැකගන්න ඇයට සිදුවෙනවා ඇගේ ජිවිතේ යමක් කැපකරන්න. වයස අවුරුදු 15ක කොල්ලෙක් ඉස්සරහ, තමන්ගෙ රහස වෙනුවෙන්, නිරුවත් වෙන්න ඇයට සිදු වෙන්නෙ අන්න ඒ විදියට.
 

තමන්ගේ රහස වෙනුවෙන් ඇය කැපකරන්නෙ ඇගේ ලිංගිකත්වය විතරක් නෙවෙයි. අවුරුදු 8කට පස්සෙ අධිකරණයේදී අත්සන තහවුරු කරගන්න අවශ්‍ය වුනාම, තමන්ට ඒ අත්සන කියවන බැරි වග ඒ කියන්නෙ තමන්ට අකුරු කියන්න ලියන්න බැරි කම කියන රහස හැමදෙනාගෙන්ම ඇය වසන් කරන්නෙ කාගේ හෝ වූ ඒ අත්සන තමන්ගේ යැයි පිළිගැනීමෙන්. එතෙන්දි ඇය ඇගේ රහස වෙනුවෙන් ඇය සතු සියල්ල, ඇගේ ජීවිතය පවා අහිමිකරගන්න පසුබට වෙන්නෙ නැහැ.

The Reader චිත්‍රපටයේදී හැනාගේ චරිතයට පනපොවන්නේ ලෝක ප්‍රසිද්ධ Titanic චිත්‍රපටයේ Rose වුනු Kate Winslet. තරුණ මයිකල් ට නවකයෙකු වුනු David Kross රඟපාද්දි, වැඩිමහලු මයිකල් ට පනපොවන්නේ Harry Potter හි Lord Voldemort වුනු Ralph Fiennes. මෙම චිත්‍රපටයේ විශිෂ්ඨ රඟපෑම නිසා Kate Winslet, හොඳම නිලිය ලෙස Oscar සම්මානයෙන් පිදුම්ලබනවා. Box Office වාර්තා සමග ලොව පුරා ජනප්‍රිය වුනු The Reader, 2008 වසරේ හොඳම චිත්‍රපට 10 අතරින් එකක් ලෙස සම්මාන ලබනවා.
 
 Stephen Daldry
මිනිත්තු 124 ක ධාවන කාලයකින් පස්සෙ චිත්‍රපටයේ අධ්‍යක්‍ෂක Stephen Daldry, The Reader තුලින් ප්‍රේක්ෂකයාට බලකරන්නෙ කන්නාඩිය ඉස්සරහට ගිහිල්ල ඒ පෙනෙන තමන්ගේම රූපෙන් ප්‍රශ්නයක් අහන්නයි. තමන්ගෙ ජිවිතේ තියෙන ලොකුම රහස ලෝකයට හෙළි වෙන එක වලක්වගන්න ඔබ මොනවද කරන්නේ?
 
ඒ අවදානම අරගෙන රහස ලෝකයටම දැනගන්න තියල ඒ නින්දාසහගත රහසෙන් තමන්ගේ හෘදසාක්ෂිය නිදහස් කරගන්නවද?

එහෙමත් නැතිනම් තවදුරටත් ඒ රහස රහසක් විදියටම තියාගන්න තමන්ගෙ ජිවිතේ ඉතුරු වෙලා තියෙන හැමදේම ඒ වෙනුවෙන් කැපකරනවද?


16 comments:

  1. The Reader බලන්න ආස හිතුණා.

    ජිවිතකාලයේ අපි සතු බොහෝ දේවල්, හරිම නොවැදගත් රහසක් වෙනුවෙන් කැප කරලා, අවසානයේ අපිත් එක්කම ඒ රහස වැලළිලා ගියාට පසු ,මොනාද? අපිට ලැබෙන්නේ හැනාට මොනාද ලැබුණේ.Stephen Daldry, The Reader තුලින් ප්‍රේක්ෂකයාට බලකරන්නෙ මෙන්න මේ දේ හිතන්න තමා.

    ඇත්තටම අපිට හුගාක් වටිනා, වගේම බයානක රහස් තියෙනවා .අපි ‍හිතනවා මෙ රහස එළි වුනොත්, සමහර විට අපිට හැමදේම නැතිවෙයි කියලා. ඉතින් ඒ රහස රකින්න අපි, පුළුවන් තරම් බොරැ කියනවා, කැප කිරිම් කරනවා. අන්තිමෙට මේ රහස අපිත් එක්කම වැළලුණ දවසට, ලෝකයා අපිට ඇගිල්ල දික් කරන්න අන්න එතන ඉදලා පටන්ගන්නවා. අපි නිකන් නිස්කාරණේ බොරැ කාරයෙක් වෙනවා. සමහර වි‍ට අපි හංගන්න උත්සහ කරපු රහසින් වෙනවටත් වඩා හානියක්, අවසානේ මේ හැංගිමට දරණ උත්සහයෙන් සිද්ධ වෙනවා, ජි‍විතේ එක මොහොතක මේ රහස ලෝකයට කියන්න තරම් ආත්ම ශක්තියක් අපිට තිබුණනම්, සමහර විට අපේ මරණයවත් අපිට සුන්දර අත්දැකිමක් වෙනවා ,

    හැනා මයිකල්ට ලංවුනේ ඇයි කියන නිගමනයවත්, මේක අසම්මත කතාවක් කියන නිගමනයවත්, නොගෙන හැනාගේ ජිවිතය මේ විදිහට කෙළවර වුනේ ඇයි කියන දේ දකින්න උත්සහ කරපු එක ගැන මම අගේ කරනවා. හැනා කිය‍න්නේ සැබැහැ චරිතයක්නම්, ඇය මියගියේ මයිකල් ඇයව වඩාහගත් සතුටින් කියලා මම හිතනවා. අපිට හැම වෙලේම, හැමදේම කියන්න බැ. අපි නොකියන කොටසත් අපි තුළින් දකින්න පුළුවන් අය අපේ ජිවිතවලත් ඉන්න ඕන.

    අපිට අපේ ජි‍විතේ, අපේ රහස්, අපේ හැගිම් ,වටින තරම් වෙන කාටවත් එවා වටින්නේ නැහැ. කාටවත් අපිට තරම් නොවටිනා දෙයක් වෙනුවෙන්, දෙයක් කැපකරන්න කලින් අපි අපේ ගැන හිතන්න ඕන.

    සාර්ථක උත්සහයක්
    සුභ පැතුම් සහෝදරයා

    ReplyDelete
    Replies
    1. හැමෝගෙම ජීවිත ගොඩනැගෙන්නෙ රහස් උඩ. ජිවිතේ රහසක් විතරක්ම වුනු කෙනෙක්, අනිත් අයට ඒ රහස කොයි තරම් නොවටිනා වුනත් ඒ වෙනුවෙන් හැමදේම කැපකරන එකේ වැරද්දක් මම නම් දකින්නේ නැහැ.
      තුති :)

      Delete
  2. ෂා.....මරු...මමත් මේක ගැන ලියන්න හිටියේ..ඒත් ඔයා ලියලා.
    ඇත්තටම මේක විශීෂ්ඨ නිර්මාණයක්...මාත් බැලුවා. මේ චිත්‍රපටිය මගේ ජීවිතේටත් යම් කිසි දෙයක් එක් කරා. මගේ ජීවිතෙත් එක්තරා සිද්ධියක් ගැන මං මේ චිත්‍රපටිය ඔස්සේ හිතලා බලපු කාලයක් තිබුණා. අන්තිමට මං ඉගෙන ගත්ත දේ තමයි මේ ලෝකෙ කිසිම සම්බන්ධකමක් නෑ ආත්මාර්ථයෙන් තොර.. මේ චිත්‍රපටිය ලෝකෙට එකතු කරන්නෙත් ඒකම තමයි. අන්තිමේදී හැනා සියදිවි නසා ගන්නෙත් තමන්ගේ ඒ දුර්වලතාවය ලෝකයට එළි වෙන එක වලක්වන්න කියලයි මට නම් හිතුනේ....

    ReplyDelete
    Replies
    1. අවසානය ගැන නම් මටත් හිතුනෙ එහෙම තමයි. ඒත් ඒකත් ආයේ හිතල බලන්න ඕනේ දෙයක් කියලයි මං කියන්නෙ. මම ලීවට මොකද, ඔබත් ලියන්න. තුති..!

      Delete
  3. මේකනම් බලන්නම ඕන වෙනවා....ස්තුතියි දැනුම්වත් කළාට.

    ReplyDelete
  4. Replies
    1. ow The Reader kalathurakin nirmanaya wena widiye film ekak thamai :)

      Delete
  5. mama reader balala tiyenawa. eth "කෙසේ වුවත් චිත්‍රපටයේ සිදුවීම් එක්ක මයිකල්ට තමන් වරදකාරී ලෙස හැඟෙන්නේ කුඩා දරුවෙක් විදියට වැඩිහිටි ස්ත්‍රියක් සමග ලිංගික සබඳතා පැවැත්වීම නිසා නෙවෙයි, තමන් වරදකාරී වෙන්නෙ නාසි ස්ත්‍රියක් සමග ලිංගික සබඳතා පැවැතිවීම නිසයි." mata e welawe terune na. Reader gena liyapu eka godak hodai. :) jaya wewa!!!

    ReplyDelete
  6. මම The Reader බලලා තිබුණත් ඊට වඩා දැනුමක් මෙම ලිපියෙන් ලබාගත්තා .ස්තුතියි දැනුවත් කළාට.

    ReplyDelete
  7. මේක බලන්නම ආස හිතුන.නියමයි ලොකූ(Y)

    ReplyDelete
  8. මේක බලන්නම ආස හිතුන.නියමයි ලොකූ(Y)

    ReplyDelete