Sunday, September 16, 2012

වරද - නිවරද - පසුතැවිල්ල

ටික දවසකින් පොස්ට් එකක් දැම්මෙත් නැති නිසා අපහු ලියන්නත් කම්මැලියි වගේ. ඒ නිසා draft ඒකෙ තිබ්බ එකක් ඔහේ පොස්ට් කරන්න හිතුව. මේක මං ඕනෙවට එපාවට ලියපු එකක්, ඇත්තටම මිට අවුරුදු ම්ම්ම්ම් 3 කට විතර කලින්, මම උසස් පෙල කරද්දි සාමාන්‍ය පොදු පරීක්ෂණය පේපර් එක වෙලාවේ ලියපු පොඩි බහුභුතයක්. ඒ කාලේ ඉතින් හරි ගොන් නේ. කෝම උනත් ඒ ලියපු කොලේ මං විභාගෙ මතක් වෙන්නත් එක්ක ලඟ තියාගත්තා.

 අපට මුහුණදෙන්න සිදුවෙන සමහර ප්‍රශ්න වලට කලබලයෙන් හොයන්න හදන විසඳුම් නිසා සමහර විට අපි අපේ ජිවිත කාලයම විඳවනවා පසුතැවෙනවා. මේ විදියට  පසුතැවිලි වෙන තීරණ අපි ගන්නේ බොහෝ විට අනවශ්‍ය ආත්මාර්තකාමී කමක් අපිට ආරෝපණය කරගෙන. ඒ විතරක් නෙවෙයි අනෙකා සතු තීරණ ගැනීමේ අයිතියත් තමන් සතු කරගෙන අනෙකා ගැන තීරණ අපිම ගැනීමෙන්, අනෙකාට අපි වරදක් කරනවා. ඒ වෙලාවේදී අපට සිතෙන්නේ මා කල දෙය හරි, මා තරම් නිවැරදි කෙනෙක් මුළු ලෝකයේම නැතැයි කියල. නමුත් කාලයාගේ ඇවෑමෙන් අපි ගත්තු තීරණ වල ඇති වරද අපටම වැටහෙනවා. එත් අපි එතකොට ප්‍රමාද වෙලා වැඩියි. බොහෝ වෙලාවට සිදුවුණු වරද නිවැරදි කරගත බැරි තරමටම සියල්ල වෙනස් වෙලා. නමුත් අයෙකුට තමන් ප්‍රමාද වී නැතැයි හැඟෙන්නට පුළුවන්. තමන් අතින් සිදුවු වරද නිවැරදි කරගන්නට අවශ්‍යතාව තිබුනත් ඒ සඳහා අවශ්‍ය ධෛර්යය ඔහු/ඇය සතුව නොතිබෙන්නට පුළුවන්. එවන් විටෙක පසුතැවිල්ල තවතවත් වැඩිවෙනවා මිසක අඩුවීමක් නම් වෙන්නේ නැහැ. තමන් අතින් වරදක් සිදුවුණු අනෙකාගෙන් වරදට සමාව ඉල්ලා එය නිවැරදි කරගන්නට අවස්ථාවක් ඉල්ලා සිටියත් අනෙකා එය ප්‍රතික්ෂේප කළහොත් හිත රිදීම වේදනාව තවතවත් වැඩිවෙන්නටත් පුළුවන්. ( කෝම  උනත් කිසිදාක සමාවක් දෙන්න  බැරි වැරදිත් තියෙනවා, ඒ දේවල් ගැන නම් නෙවෙයි මම මේ ලියන්නේ)




මේ විදියට තමන් අතින් සිදුවුණු සමහර වැරදි ගැන හිත හිත ඒවා නිවැරදි කරගන්න අවස්ථාවක් ලැබෙන තුරු සිහින දකිමින් ජීවිතය විඳවන කොයිතරම් පිරිසක් අපි අතර ඉන්නවා ඇතිද? මේ විදියට විඳින්න තියෙන ජිවිතය් විඳවන ඇය දිහා බලන අපි  "මිනිහ mood ගහල" කියල එතනින් කාරණාව අමතක කරලා දාන එක සාධාරණද? සමහර අයට තමන්ගේ දුක කියන්න පුළුවන් සමීපතමයන් ඉන්නවා. නමුත් ඒවගේ සමීපතමයන් නැති, එහෙමත් නැතිනම් සමිපතයන්ගෙන් වෙන්වුන අය තමන්ගේ ප්‍රශ්න හිත ඇතුලේ තියාගෙන විඳවනවා. තමන්ට තියෙන ප්‍රශ්න කොලයක වපුරලා ප්‍රශ්නය අමතක කරලා දාන අයත් ඉන්නවා. එත් මේ කිසි දෙයක් කරගන්න බැරි අය?


කෙනෙක්ගේ ප්‍රශ්නයකට උදවුකරන්න, අපි ප්‍රශ්න වලින් සම්පුර්ණයෙන්ම මිදුණු අය වෙන්නම ඕනේ නැහැ. සමහර විට තවත් කෙනෙක්ගේ ප්‍රශ්න විසදගන්න උදවු කරනකොට අපේ ප්‍රශ්න අපිට අමතක වෙන්න පුළුවන්. අපි නිසා, අපේ තීරණ නිසා දුක විඳින අය අපේ ජිවිත වලත් ඉන්නවා. ඒ දේවල් සිහි කරමින් දුක විඳින අය අතරේ අපිත් ඉන්නවා, ඒ දුක විඳින අයත්, විඳවන අයත් අතරේ අවබෝධමත් බැඳීමක් ඇතිවුනොත් ඒ වේදනාවන් පොඩ්ඩක් හරි ඈත් වෙයි නේද? වරදක් වුනාට පස්සේ සමාජය දොස් කියන්නේ වරද කරපු කෙනාට, අනුකම්පා කරන්නේ වරදට ලක් වුනු කෙනාව. එත වරද කරපු කෙනා තමන්ගේ වරද අඳුනගෙන එක නිවැරදි කරගන්න බැරිව පසුතැවිලි වෙනකොට ඒ අයට අනුකම්පා කරන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැහැ. අපි ඒ වගේ තැනකට වැටුනොත් අපේ වේදනාව අපි අත්විඳින්න ඕනේ. ඊට පස්ස්සෙවත් අපි ඒ වගේ අයට අනුකම්පා කරමු. වරදට ලක්වුණ අයත් වරද කල අයව අවබෝධ කරගෙන ඔවුන්ට පිහිට වෙන්න. දෙපාර්ශවයක ප්‍රශ්න විසඳන්න ඉදිරිපත්වෙන තුන්වෙනි පාර්ශවයක් වෙන්න අපිටත් පුළුවන්. කවුරු කොහොම කිවත් සමහර වෙලාවට අපිට බුද්ධියට නෙවෙයි හදවතට ඇහුම්කන් දෙන්න වෙනවා. ඒ වෙලාවට හදවත් ගැහෙන්නේ කොහොම කා වෙනුවෙන්ද කියල පොඩ්ඩක් සිහිකරන්න..!


1 comment: