Saturday, September 8, 2012

මට..... බෑ.....!

මොනව හරි ලියන්න කියල ඉඳගත්ත
මේ දැන් දවස් ගාණක ඉඳල හිතට වද දුන්න කථාවක්
ඒ වුණත් හිතුව තරම් ලේසියෙන් අදහස් ගලාගෙන ආවේ නැහැ
පෑන නලලෙත් තොල වලත් වැදි වැදී කල්පනා කරන්න ගත්ත
ම්.... කොහෙන්ද පටන් ගන්නේ
"කොහොම හරි පටන් ගනින්" ඇතුලෙන් කවුදෝ කීවා
 

මම එක පාරටම අඳුන ගත්ත ඒ 'මම' කියන විචාරකය කියල
එත් මම හිතුව
හැමදාම මොනව හරි ලියන්න ගන්නකොට කොහේ හරි ඉඳල හොට දාන විචාරකයාට අද නම් ඉඩ දෙන්න නරකයි කියල
ඔව්
විචාරකයාට මතු වෙන්න දීල බෑ
නිර්මාණකරුවයි මතු වෙන්න ඕනේ
විචාරකය පිටිපස්සෙන් ආපුදෙන්
'මම' කියන නිර්මාණකාරය - ඒත් මට හිතුන විචාරකයාමද කියල


හිසකෙස් ගස් අතරේ ගියපු පෑන උකුණන් හොයන්න ගත්ත
ඒත් තමන්ගේ ඔලුවේ උකුණෝ නෑ කියල මතක් වෙලා
ආයෙත් ආපහු කොලේටම ආවා
එළියේ කලබල කරපු හුළඟ ඇදගෙන ආපු ජනෙල් පියනක් දඩාස් ගාල උළුවස්සේ හැප්පුනේ හරියට
රණ්ඩුවකදී,
කෙස් වල්ලෙන් අල්ලගත්ත ගැනියෙක්ගේ ඔළුව බිත්තියේ අනිනවා වගේ
ෂඃ අරක්කු ටිකක් බොන්න ඇත්නම්
ඒත් ඇතුලෙන් ආයෙත් ඇහුව
"උඹ අරක්කු බොනවද?"
ඔහ් නෑනේ මං අරක්කු බොන්නේ නෑනේ, මට ඕනේ නිදහස් වෙන්න
"මොකෙන් නිදහස් වෙන්නද?"
මේ කරදර ප්‍රශ්න වලින්
"ඒත් උඹට එහෙම ඒවා නෑනේ"
ඇයි නැත්තේ?
"ආ...ආ... මං දන්නවා"
මොනවද දන්නේ?
"උඹට ඔය ප්‍රශ්නේ තියෙන්නේ අර ආඩම්බර, පැහිච්ච, පුංචි කෙල්ල ගැන. එහෙම නේද?"
මේ.. එයා..
 
 
"මොකද නැවැත්තුවේ? උඹ මහා මෝඩයෙක්"
මේ මම, මම මෝඩයෙක් ද?
"උඹට ඒකි ගැන තියෙන තරම් කැක්කුමක් ඒකිට උඹ ගැන නෑ"
නෑ එයා එහෙම නෑ, ඔය පොඩි පොඩි දේවල් වුනාට එය මට ආදරේ නෑ කියල හිතන්න තරම් මං බොළඳ නැහැ
"උඹ මහා ලොක්කනේ ඉතින්"
"හා හා උඹේ අර්යයාව පැත්තකින් තියල ඔය කරන්න ගිය වැඩේ කරපන්, කයියට අහුවුනොත් ඉතින් උඹ තමයි දවසකටවත් මිනිහ"
මට ලජ්ජත් හිතුන
මේසේ දිහා බැලුව, පිටුව තාම හිස්. පෑන පිටුව පුර කාටූ බූටු ගාලා.
මට ඇතිවුනේ කේන්තියක්
මේ කෙහෙල්මල දමල ගහල වෙන වැඩක් වත් පටා..න් ගත්තනම්
 
ඒත්
මට එක නොලිය බැහැ. කොහොම හරි ලියනවා
යටි හිත උද්ඝෝෂණය කරන්න ගත්තා
මං පෑනට ගොඩ වුනේ මොනව හරි ලියල මේ වැඩේ පටන් ගනින් කියල පෑනට බල කරලයි
ඒත් තවත් පැය භාගයක්ම ගියා
මං හිතත් එක්ක ඇති වුන උරණ වීමෙන් පලක් නොවෙන බව හිතල
අන්තිමට හිතට සමාව දෙන්න හිතුව.
හඃ නන්දිවිසාලත් හොඳ වචනේටයි අවනත වුනේ.
නන්දි විසාල, නන්දිවිසාල ජාතකය, ජාතක කථාව. මතකය ඈ...තට ගියා.. ජාතක කතා පොත.
කතා පන්සීය හතලිස් ගානක් තියෙන අපේ ජාතක කථා පොත,
හඃ පන්සීය පනස් ජාතක පොත.
"අහා උඹ බණ පොතුත් කියෝනව එහෙනම් ඈ"
අයියෝ මේ විචාරකයා නම් කිසි සදාචාරයක් නැතී එකෙක්.
මේකත් නිකන් ජාතක කථාවක් වගේ
ආකෘතිය එහෙමමයි
"ඒත් වර්තමාන කථාව තියෙනවද?"
ඇයි නැත්තේ, අද මට වෙන දේ
"එතකොට අතීත කථාවක්?"
තියෙනවා, ඒ එදා මට වෙච්ච දේ
එදා, අද
"එතකොට හෙට?"
ඇ මේකට අනාගත කථාවකුත් තියෙනවා
මේක වෙනස්, හෙට මට මොකද වෙන්නේ?
මොන කෙහෙල්මලක්ද, මට බෑ ආයෙ ලියන්න
මට..... බෑ.....!

 (ආශ්‍රය: නන්දිවිසාල)

12 comments:

  1. ‍මෙ දවස්වල මමත් මෙ වගේ තමා. හැබැයි ලියන එක නවත්වන්න එපා. අමාරුමනන් විවේකයක් ගනින් කොල්ලෝ. ඔලුව හැදුනාම අපහු ලියමු.

    ReplyDelete
    Replies
    1. හෙහෙ සහෝදරයා මං මේවා ලියන එක නවත්තල දැන් සෑහෙන කල්. මේ දාන ඒවට අවුරුදු 2ක් විතර වයසයි.

      Delete
    2. එහෙනන් අයෙත් ලියහන්. :D

      Delete
    3. හිතදෙන්නේ නැහැනේ

      Delete
  2. ur thoughts are always older than u. nice piece of art

    ReplyDelete
  3. සිතුවිලි ද්වෛතයක සැඟවුණු ආත්ම ප්‍රකාශනයක්...

    ReplyDelete
    Replies
    1. අපි හැමෝටම චරිත දෙකක්

      Delete
    2. ඇත්ත. ඒකයි අපි කවුරුවත්ම 'අරහං' නොවෙන්නේ...

      Delete
  4. බෑයි කියල බෑයි කියල බෑ...

    ReplyDelete